ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි?

Last Updated on 1 month by admin

Photo credit: Reddit.com/MarxistCulture

මාක්ස්වාදය වැරදි බව ශ්‍රී ලාංකික උගතෙක් ප්‍රථම වරට ප්‍රකාශ කළ කාලවකවානුව දැනගන්න කැමතියි.

එවන් පර්යේෂකයෙක් සිටියේ නම්, ඔහු හෝ ඇය කුමන නිර්ණායකයක් භාවිතා කරමින් මාක්ස්වාදය වැරදි යැයි නිගමනය කළේද?

මාක්ස්වාදය උපතින්ම භෞතිකයි. ඊට භෞතික බවක් බාහිරව ආදේශ කළ යුතු වන්නේ නැහැ.

ශ්‍රී ලංකාවේ බෞද්ධමාක්ස්වාදින් වරින් වර උත්සාහ කළා මාක්ස්වාදය බුදු දහම සමග සැසඳීමට. ඒ මාක්ස්වාදය දේශපාලන වශයෙන් සමානතා ප්‍රතිපත්තිය අගය කළ නිසා.

නමුත් මාක්ස්වාදය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් යුරෝපා රටවල් එම ආර්ථික හා දේශපාලන දර්ශනය මානුෂික කර ගැනීමට අපොහොසත් වූයේ කාර්මික විප්ලවයෙන් පසු යුරෝපය දැඩි ලෙස ද්‍රව්‍යවාදී දිශානතියකට යොමු වී තිබීම නිසයි.

ද්‍රව්‍යවාදී වීමේ තරඟයේදී ප්‍රාග්ධන සාධකය, නූතන තාක්ෂණය මෙන්ම මිනිස් සාධකයද හරහට සිටීම නිසා නැගෙනහිර යුරෝපයට බටහිර ධනේශ්වර රටවල් සමඟ තරඟ කරනවා තබා ඒ අහලකටවත් සමීප වන්න බැරුව ගියා.

සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපය එක රැයකින් කඩා වැටුනා නොවේ.

එහි දිය වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවුණු දෙයක්.

මාක්ස්වාදයේ ප්‍රායෝගික බව කෙසේ වෙතත්, එහි න්‍යායාත්මක බව සංකල්පමය වශයෙන් හෝ රැක ගැනීමට චීනයට හැකිවුනේ චීන සංස්කෘතිය වසර දහස් ගණනාවක් තිස්සේ බුදු දහම ඇතුළු පෙරදිග දර්ශනයන් තුළින් පෝෂණය වී තිබීම නිසයි.

අපගේ පිළිගැනීමට අනුව සමාජ දර්ශනයක් ජානගත වීම දක්වා පරිණාමය වන්නේ ඊට අනුකූලතාවයක් දක්වන සාම්ප්‍රදායික සමාජ දර්ශනයක්ද ඊට සමාන්තරව පැවතුණහොත් පමණයි.

ශ්‍රී ලංකාවේ සමාජ සන්දර්භය තුළ මාක්ස්වාදයට වඩාත් සමීප වූයේ රටේ බහුතරය වූ බෞද්ධයින් නොව ක්‍රිස්තියානි කතෝලික මෙන්ම පහළ යැයි සම්මත සිංහල හා දෙමළ ජනතාවයි. මන්ද ඔවුන් තුළ අනාරක්ෂිතභාවය දැඩි ලෙස අභ්‍යන්තරීකරණය වී තිබීම නිසයි.

“ඔටුවෙක් ඉඳිකටු සිදුරෙන් ඇතුළු වුණත්, ධනපතියෙකුට ස්වර්ගයට යා නොහැකිය” කියන ක්‍රිස්තියානි ඉගැන්වීම පීඩිත පංතියට ඉතාමත් ආකර්ෂණීය පාඨයක් වීම පුදුමයක් නොවේ.

නමුත් කැල්වින් නැමති ප්‍රංශ ජාතික ආගමික ප්‍රතිසංස්කරණවාදියා සහ ජර්මන් ජාතික මාටින් ලූතර් කතෝලික ඉගැන්වීම්වලට එරෙහිව යමින් හඳුන්වා දුන් රෙපරමාදු ප්‍රතිසංස්කරණ ආගම, කාර්මික විප්ලවයට මුහුණ දුන් යුරෝපාකරයේ ඇතැම් රටවලට සැබෑ ආර්ථික පෙරළියක් කිරීම සඳහා බොහෝ සේ ප්‍රයෝජනය වූ බව ජර්මන් ජාතික මැක්ස්වේබර් පවසනවා.

අප විසින් දියත් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස මතු කරන ලද වැදගත්ම සාධකය වූයේ සෑම මානව ක්‍රියාකාරීත්වයකම පදනම පුද්ගල මෙන්ම සමාජ අනාරක්ෂිතභාවයයි.

බුදු දහම හැරුණු කොට බොහෝ සමාජ දර්ශනයන්ට පදනම් වී ඇත්තේ සනාතන ධර්මයක් හෝ ප්‍රබල සමාජ මනෝවිද්‍යාත්මක ප්‍රපංචයක් වන අනාරක්ෂිතභාවයයි.

මාක්ස්වාදය බිහිවීමට තුඩු දුන් සමාජ මනෝ විද්‍යාත්මක පදනම ආර්ථික සාධකයටත් වඩා බලවත් බව යුරෝපාකරයේ මාක්ස්වාදය බිඳවැටීම තුළින් මනාව පැහැදිළි වුනා.

ඇතිවීමට හෝ නැතිවීමට බලපාන ප්‍රධානම සාධකය “සමාජ අනාරක්ෂිතභාවය” බව විවෘත සංවාදයක් සඳහා සබුද්ධික ජනතාව වෙත ඉදිරිපත් කරමි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link