ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ

Last Updated on 4 months by admin

මහතුවා ඉන්නේ හදිසියේ ම ජනාධිපතිකම ලැබුණා වගේ සතුටින්ය.

“මොකෝ මහතුන්, IMF ණය කොන්දේසි නැතුව ම ලැබුණා වගේ පට්ට ආතල් එකේ? ඩයනාක්කා මල් දුන්නද?”

“නෑ ඕයි, මං ජ්‍යෝතිෂකාරයා ළඟට ගියා බං සාත්තරයක් අහන්න!” මහතුවා එහෙම කීවේ, මිනිහගේ ඉහේ ඩයනක්කාගේ මල් පිපුණා තරම් සතුටිනි; ඉහෙන් කනෙන් පැණි වරුසා බේරන ගමන්ය.

“අම්මටසිරි! මොනවද ජ්‍යෝතිෂ ලොක්කා කීවේ? කවුද ඡන්දෙන් දිනනවා කීවේ? ඉන්දියාවෙන් ගමකට සලකනවා කීවද?”

“ඡන්ද මඟුලක් නෙවෙයි ගවයෝ…, මට ලබන අවුරුද්දේ මල්ලිකාව කසාද බඳින්න ලැබෙනවා කීවා.”

මට කන්දක් විළිලා ගෙනාපු දෝෂාභියෝගය පැරදුණා වගේ තරහක් සර්වා‍ංගය පුරා ඇති විය. බිබිලි මතු විය; ගෙඩි මතු විය; දුම් මතු විය; ගිනි මතු විය; මරාගෙන මැරෙන තරම් ලාවා ධාරවක් අලි මද ගලනවා වගේ සෑම සිදුරකින් ම ගලන්න විය.

“තක්කඩි මහතුවා, ගොරහැඩියා, මූසලයා, ජාතිද්‍රෝහියා, දේශභ්‍රෂ්ටයා, අන්ඩර්වෙයාර් නැති එකා!, තෝ දන්නවා මං පුන්චි කාලේ ඉඳලා ම මල්ලිකා ගැන හිතාගෙන ඉන්න බව, මල්ලිකා මගේ බව, මං මල්ලිකාගේ බව… එහෙව් එකේ තෝයි ජ්‍යෝතිෂයි එකතු වෙලා දයාසිරි මන්ත්‍රීතුමාට කළා වගේ මගේ සාමාජිකත්වය නැති කරන්න යනවද එහෙනම්! මං තොගෙත් කන පළනවා, ජ්‍යෝතිෂයගෙත් කන පළනවා”යි නොයෙක් හිල් ඇති කැනහිල් මහතුවා ඉදිරි පිට මගේ කටින් සිංහ නාද පිට සිංහ නාද මතු විය.

එකපාරට ම මට මහතුවාගේ මදාවි අයියා ආයෙත් ලංකාවට ඇවිත් ඉන්නේ කියා මතක් විය. “නෑ, එක්කෝ මොකට ද මං තොගේ කන පළන්නේ…? මං ගිහිං ඉස්සරෝම ජ්‍යෝතිෂයාගේ කන පළලා එනවා… ඊට පස්සේ මං තෝව අල්ලගන්නවා. ඊට පස්සේ තෝ තොගේ ම අයියාත් එක්ක එකතුවෙලා හම ගහනවා…”

+++++++++++++

මං ජ්‍යෝතිෂයා හමුවීමට ගොස් නැවත ආවේ යුක්‍රේනයේ ජානාධිපති ඉල්ලන් කන ගාණයටය. රැල්ලක් ඇතැයි පෙනී ඒත් එහෙම පේන තරම් රැල්ලක් නැතැයි යටිහිත දැනගෙන ලෙඩා වගේ එන මං ඉස්සරහට මහතුවා කොටළු හම පොරවා ගත් සිංහයෙක් වගේ ආවා.

“ඇයි ඕයි අවුලෙන්? උඹ ජ්‍යෝතිෂයාගේ කන පැළුවද? නැත්තං ජ්‍යෝතිෂයා උඹේ කන පැළුවද?”

ඇමතිකම අහිමි වී වගේ හොඳට ම කළකිරී හිටිය ම‍ං කට ඇරියා…

“වැඩක් නෑ මහතුන්…! ජ්‍යෝතිෂයා කියන්නේ මල්ලිකා ලබන අවුරුද්දේ ඊශ්‍රායල්කාරයෙක්ව කසාද බඳිනවා බඳිනවා මයි කියලා… ඉහි ඉහි ඉහි…”

“අප්පටසිරි! එහෙනම් අනුරත් රට යන්න එන්න පටන්ගෙන නේද!”

“අයියයි මල්ලියි වගේ හිටපු අපි දෙන්නට ම කෙළ වෙනවා නේද එහෙනම් මහතුවෝ”යි මට හැඬුම් ආවේය; ප්‍රේම නහර තෙරපුණේය. ජනාධිපතිවරණෙට කලින් මහා මැතිවරණය තියන්න සූදානම් වෙනවා වගේ හෝ කිසිම මැතිවරණයක් දැන් ම නොතියන්න තීරණය කළා වගේ හෝ මහතුවයි මායි අන්දොස් වී දොස් දහසක් මැද ටික වේලාවක් හිටියා. ඒ අතර මගේ කට ඇරුණා.

“මහතුන් – මගේ බොක්ක, මගේ කල්‍යාන සහෝදරයා, චන්ද්‍රිකා නැන්දගේ පොඩි පුතෝ, උඹ මල්ලිකා කසාද බඳිනවා නම් මට මගේ හිත හදාගත්තෑකි, වාවගත්තෑකි! මොකද උඹ ගෙදර නැති වෙලාවට මට උඹේ ගෙදරට ගියෑකි… ඒත් හිතහංකෝ බං මල්ලිකා ඊශ්‍රායල්කාරයෙක් බැන්දොත් මොකද වෙන්නේ කියලා… ඉහි ඉහි ඉහි… ඒ යුදෙව්වා ගෙදර නැති වෙලාවට මට ඒ යුදෙව්වාගේ ගෙදර යන්න කියලද… පෙර පිනක් පාත් වෙලා හරි එහේ යන්න පුළුවන් වුණාය කියහන්කෝ… ඒත් ගාසා තීරේ අතරමං වුණොත් මොන ජ්‍යෝතිෂකාරයාට කියන්නද? මගේ කෑලිවත් ලංකාවට ආයේ ගේන්න කියලද? අපේ අම්මට ආයේ මං වගේ පුතයෙක් ලැබෙයිද? සිරි ලංකා මාතාවට මහා පාඩුවක් නේද? ඉහි ඉහි ඉහි…”

මගේ ඒ කතාව අහලා මහතුවා මටත් වඩා අඬන්ට පටන් ගන්නකොට ම අඹරන් ආතා එතැනට ආවා.

“මොකද කොල්ලෝ තොපි දෙන්නා ගෑනි මළ එවුන් වගේ බදාගෙන අඬන්නේ? කවුරුහරි තොපි දෙන්නගේ ම කන පැළුවද?”

මායි මහතුවායි දෙන්නා අපි දෙන්නාට වුණු අකරතැබ්බය අපිව ගලවාගන්න වගේ ආපු අඹරං ආතාට එක අකුරක් නෑර කීවා. මෙන්න යකෝ ආයෙත් රට බෙදන්න යෝජනාවක් ගෙනාවා වගේ තරහක් අඹරං ආතාට ආවා! මොන හත් ඉලව්වද!

“තොපි දෙන්නට පිස්සුද ගොන් වස්සෝ! ලපයි සිපයි ජ්‍යෝතිෂකාරයෝ කියන ඒවා තොපි තවත් පිළිගන්නවද? ඕකුන් නිසා රජකම අතාරින්ටත් සමහරුන්ට සිද්ධ වුණු බව තොපි දෙන්නට ම අමතකද? අනික ඕවාට වඩා රටේ ප්‍රශ්න නැද්ද වෘෂභයෝ? ඔය ලපයි සිපයි කිව්ව  මොනවද හරි ගියේ කියලා පොඩ්ඩක් හිතහල්ලා… හිත හොඳ නම් ඕනෑ වෙලාවක් නැකතක් යකුනේ… අම්මපා තොපි දෙන්නා ඇඳුම් ඇඳල ද ඉන්නේ කියලා බලාපියව්?”

මහතුවයි මායි අපේ ම සරීර දිහා ලැජ්ජාවෙන් වගේ බලන්න පටන්ගත්තා, හරියට බෙහෙත් වංචා කරලා හිරේ යන්න වුණ ගාණට.

“අඹරං ආතා උඹට පේන්නේ නැද්ද?; උඹේ ඇස් හොඳට ම පොට්ටද? අපි ඇඳුම් ඇඳලනේ ඉන්නේ? මං කොටකලිසමක් ඇඳලා; මහතුවා සරමක් ඇඳලා.”

“තොපි ඔහොම විකාරෙට අඬද්දී මට හිතෙන්නේ තොපි දෙන්නා ඇඳුම් ඇඳලා නෑය කියලයි… තොපි දන්නවද ඔය ජ්‍යෝතිෂයාගේ ගෑනි ගිය මාසෙක චීනෙක් එක්ක පැනලා ගියා… හෙහ් හෙහ් හෙහ්.”

අඹරන් ආතා හිනා වෙවී එතනින් වාෂ්ප වුණා. මහතුවා ඒ දිහා බලාගෙන කට ඇරියා.

“මළමඟුලයි බං… මට අන්ඩවෙයාර් එක අඳින්න බැරි වුණා… අඹරං ආතා ගමක හිනා වෙවී යන්නේ මොකක් හරි භයානක දෙයක් දැකලාවද්ද දන්නෙ නෑ!”

මහතුවාගේ ඒ කතාවට මටත් හිනාගියේ මල්ලිකා මම ම කසාද බැන්දා වගේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link